-
ආදායම් හා ගිණුම් අංශය
-
ආයතන අංශය
-
කර්මන්ත අංශය
-
සෞඛ්‍ය අංශය
-
ප්‍රජා අංශය
-
සභා රැස්වීම් වාර්තා
-
ලැබු සම්මාන
-
අයදුම්පත්
-
දැන්වීම්, තනතුරු හා පුරප්පාඩු
අම්බලන්ගොඩ නගරය
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන අම්බලන්ගොඩ නගරය කොළඹ සිට දකුණු දෙසට කිලෝමීටර් 86 ක් පමණ ඈතින් පිහිටා ඇති අතර, ගාල්ල සිට ඇති දුර කිලෝමීටර් 32ක් වේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුම් පොළක්වන අම්බලන්ගොඩ, A2 මහා මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන්ද වැදගත් කමක් උසුලයි. අර්ධ නාගරික ප්‍රදේශයක් වන මෙහි නිවාස 4364ක් තුල 23106 ක ජනගහණයක් වාසය කරයි. ප්‍රදේශයේ ශ්‍රම බලකායෙන් 55% ක් පමණ ප්‍රාථමික අංශයේ කර්මාන්තවල සේවා නියුක්තව සිටී.
දේශීය මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද අම්බලන්ගොඩ නගරය ප්‍රචලිතව ඇත්තේ වෙස්මුහුණු, වෙස් නැටුම් හෙවත් කෝළම් හා රූකඩ කලාවටයි. මෙය අම්බලන්ගොඩට ලද උරුමයක් ලෙස සැලකේ. අම්බලන්ගොඩ මෙම කලාව කවදා ඇරඹිණි දැයි හරියටම කිව නොහැකි වුවද, දැනට වසර 150 ක් හෝ 200 කට පමණ පෙර එහි බිහිවීම සිදු වූ බව නිගමනය කිරීමට සාක්ෂි තිබේ. මුල් අවදියේදී මහ අම්බලන්ගොඩ මූලික කර ගත් කෝළම් ගුරුකුලය පසුව දෙකොටසකට කැඩී මහ අම්බලන්ගොඩ ගුරු කුලය ටුක්කාවඩු පරම්පරාවේ නායකත්වයෙන් පවත්වාගෙන එන අතර, හිරේවත්තේ ගුරුකුලය ජුවන්වඩු පරම්පරාවේ නායකත්වයෙන් පැවත එයි.
අම්බලන්ගොඩ නගරයේ වැදගත් ඵෙතිහාසික ස්ථාන අතර සුනන්දාරාම විහාරස්ථානය, මෝදර දේවාලය, කරිත්තකන්ද පුරාණ සුභද්‍රාරාම විහාරය සහ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාම විහාරය සඳහන් කළ හැකිය.
පොදු විනෝදාත්මක සංචාරක වැදගත් ස්ථාන වශයෙන් හිරේවත්තේ පිහිටි ස්වභාවික මුහුදු පිහිනුම් තටාකය, යාලදූව කුරුලු පාරාදීසය සහ වෙස් මුහුණු කෞතුකාගාරය හැදින්විය හැක.
අම්බලන්ගොඩ නගර සභාව
1932 අප්‍රේල් මස 15 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 7918 මගින් ප්‍රසිද්ධ කරන ලද පරිදි අම්බලන්ගොඩ නගර සභාව බිහි විය. නගර සභා බල ප්‍රදේශය තීරණය වීම, 1931 ඔක්තෝම්බර් 16, 1931 නොවැම්බර් 06, 1931 දෙසැම්බර් 04 යන දින වල ගැසට් පත්‍ර මගින් සිදු වූ අතර, එම බල ප්‍රදේශ කොට්ඨාස වලට බෙදීම 1932 මැයි මස 10 වන දින ගැසට් පත්‍රය මගින් සිදු විය.
ප්‍රථම නාගරික දිස්ත්‍රික් සභා රැස්වීම නාගරික දිස්ත්‍රික් සභා කාර්යාලයේදී 1933 ජනවාරි මස 05 වන දින සවස 2.00 ඇරඹුණු අතර පළමු සභාපති වූයේ ටී.සී.පී. ප්‍රනාන්දු මහතාය.
වත්මන් නගර සභාව සභාපති, උප සභාපති, ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත සභාවකි. නගරයේ ජනගහනය 26,938 වන අතර නගර සභාවට අයත් බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මී. 7.12 වන අතර එම භූමි ප්‍රමාණය කොට්ඨාස 13 කට බෙදා පාලනය සිදු කරනු ලබයි.