අම්බලන්ගොඩ නගරය


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන අම්බලන්ගොඩ නගරය කොළඹ සිට දකුණු දෙසට කිලෝමීටර් 86 ක් පමණ ඈතින් පිහිටා ඇති අතර, ගාල්ල සිට ඇති දුර කිලෝමීටර් 32ක් වේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුම් පොළක්වන අම්බලන්ගොඩ, A2 මහා මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන්ද වැදගත් කමක් උසුල‍යි. අර්ධ නාගරික ප්‍රදේශයක් වන මෙහි නිවාස 4364ක් තුල 23106 ක ජනගහණයක් වාසය කරයි. ප්‍රදේශයේ ශ්‍රම බලකායෙන් 55% ක් පමණ ප්‍රාථමික අංශයේ කර්මාන්තවල සේවා නියුක්තව සිටී.
දේශීය මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද අම්බලන්ගොඩ නගරය ප්‍රචලිතව ඇත්තේ වෙස්මුහුණු, වෙස් නැටුම් හෙවත් කෝළම් හා රූකඩ කලාවටයි. මෙ‍ය අම්බලන්ගොඩට ලද උරුමයක් ලෙස සැලකේ. අම්බලන්ගොඩ මෙම කලාව කවදා ඇරඹිණි දැයි හරියටම කිව නොහැකි වුවද, දැනට වසර 150 ක් හෝ 200 කට පමණ පෙර එහි බිහිවීම සිදු වූ බව නිගමනය කිරීමට සාක්ෂි තිබේ. මුල් අවදියේදී මහ අම්බලන්ගොඩ මූලික කර ගත් කෝළම් ගුරුකුලය පසුව දෙකොටසකට කැඩී මහ අම්බලන්ගොඩ ගුරු කුලය ටුක්කාවඩු පරම්පරාවේ නායකත්වයෙන් පවත්වාගෙන එන අතර, හිරේවත්තේ ගුරුකුලය ජුවන්වඩු පරම්පරාවේ නායකත්වයෙන් පැවත එයි.

අම්බලන්ගොඩ නගරයේ වැදගත් ඵෙතිහාසික ස්ථාන අතර සුනන්දාරාම විහාරස්ථානය, මෝදර දේවාලය, කරිත්තකන්ද පුරාණ සුභද්‍රාරාම විහාරය සහ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාම විහාරය සඳහන් කළ හැකිය. පොදු විනෝදාත්මක සංචාරක වැදගත් ස්ථාන වශයෙන් හිරේවත්තේ පිහිටි ස්වභාවික මුහුදු පිහිනුම් තටාකය, යාලදූව කුරුලු පාරාදීසය සහ වෙස් මුහුණු කෞතුකාගාරය හැදින්විය හැක.

අම්බලන්ගොඩ නගර සභාව


1932 අප්‍රේල් මස 15 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 7918 මගින් ප්‍රසිද්ධ කරන ලද පරිදි අම්බලන්ගොඩ නගර සභාව බිහි විය. නගර සභා බල ප්‍රදේශය තීරණය වීම, 1931 ඔක්තෝම්බර් 16, 1931 නොවැම්බර් 06, 1931 දෙසැම්බර් 04 යන දින වල ගැසට් පත්‍ර මගින් සිදු වූ අතර, එම බල ප්‍රදේශ කොට්ඨාස වලට බෙදීම 1932 මැයි මස 10 වන දින ගැසට් පත්‍රය මගින් සිදු විය. ප්‍රථම නාගරික දිස්ත්‍රික් සභා රැස්වීම නාගරික දිස්ත්‍රික් සභා කාර්යාලයේදී 1933 ජනවාරි මස 05 වන දින සවස 2.00 ඇරඹුණු අතර පළමු සභාපති වූයේ ටී.සී.පී. ප්‍රනාන්දු මහතාය.
වත්මන් නගර සභාව සභාපති, උප සභාපති, ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත සභාවකි. නගරයේ ජනගහනය 26,938 වන අතර නගර සභාවට අයත් බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මී. 7.12 වන අතර එම භූමි ප්‍රමාණය කොට්ඨාස 13 කට බෙදා පාලනය සිදු කරනු ලබයි.

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.